කරඹගල සෙනසුන

හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි අම්බලන්තොට නගරයේ මැදින් වලවේ ගඟට සමාන්තරව උතුරට බරව වැටි ඇති මාර්ගයේ මහබෝලාන දක්වා ගොස් ඉන් හැරි කොක්ගල්ල දක්වා යා යුතුය. එහි මහා විද්‍යාලය අසල සිට ගුරු පාරේ සැතපුම් පහක් පමණ ගිය පසු කරඹගල සෙනසුනට පැමිණිය හැකිය. මෙහි නටඹුන් කරඹගල හා මදුනාගල වශයෙන් කොටස් දෙකකට ඇති අතර මෙම ස්ථාන දෙක වටා ඝන වනාන්තරය පැතිර ඇති බැවින් වන සතුන්ගේ නිබඳ ගැවසිමද සිදුවේ. මදුනාගල කන්ද අඩි 327 ක්ද කරඹගල අඩි 392 කින්ද උස වන අතර මෙම ස්ථාන දෙක අතර දුර කිලෝ මිටර් භාගයක් පමණ වේ. මදුනාගලට සැතපුම් දෙකක් පමණ දුරින් රිදියගම වැව පිහිටා තිබේ.
මෙම ස්ථානයේ ස්තුප තුනක් තිබු බවට සාක්ෂි ඇත. එයින් එකක් මදුනාගල පර්වතය මුදුනේ තිබි ඇති අතර එම පැරණි ස්තුපය නිදන් සොයන්නන් විසින් මුලුමනින්ම විනාශ කර ඇත. එහි විවිධ වර්ග වලට අයත් ගඩොල් සෑම තැනම විසිරි ගොස් විනාශ වි ඇත. එහි 1.4‘ x 0.8‘ වර්ගයේ ගඩොල් බහුලව දක්නට ඇත. තවද මෙහි පහත් මට්ටමේ පිහිටි ගල්තලයක පොකුණක්ද ඒ අසල පැරණි ගොඩනැගිල්ලක පාදම්ගල් 14ක්ද දක්නට ඇත.
කරඹගල පර්වතයේ උස්ම ස්ථානයේ ස්තුපයක් ඇති අතර එය මෑතකදි ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් එහි පැරණි ස්වරූපය දක්නට නොමැත. වටපිටාව මැනවින් පෙනෙන දර්ශණිය ස්ථානයක මෙම ස්තුපය පිහිටා ඇත. තවද මෙහි නෙලුම්පෙති රටාව පමණක් සහිත චාම් සදකඩපහණක්ද පැරණි ගොඩනැගිල්ලකට අයත් ගල්කණු රැසක්ද දක්නට ඇත. මෙම ස්ථානයට පහතින් පිහිටි තවත් පර්වත තලාවක අඩි 30 පමණ වටවු අඩි එකක් පමණ උස් වු ස්තුපයක නටඹුන් දක්නට ඇත. මෙම ස්තුපයේද ගඩොල් තැන තැන විසිරි විනාශ වෙමින් පවති. මෙහි තරමක විශාල ලෙනක බුදු මැදුරක් තනා ඇත. පැරනි විහාරයක් වුවද මුලුමනින්ම අලුත් වැඩියා කර ඇති බැවින් පැරනි දේ නැති තරම්ය. එහි තරමක හිදි පිළිමයක්ද, පිළිමය දෙපස ශක්‍රයාගේ හා බ්‍රහ්මයාගේ රූපද අඹා ඇත. පසෙක පස්වග මහණ රූප අඹා ඇත.
මෙහි හැම තැනම පර්වත ඇසුරු කර ගෙන ලෙන් පිහිටා ඇත. මිනිසුන් හාරසියකට පමණ සිටිය හැකි ඡත්‍රාකාර ලෙණක්ද මේ අතර ඇත. එක් ලෙණක කටාරම් සහිත කොටස කඩා වැටි තිබේ. මෙහි ඇති චිත්ත ගුත්ත ලෙණ ඉදිරිපිට ගල් කණු හතරක් එක පෙළට සිටුවා තිබේ. කණු පාදම් ගල් 10 ක්ද ඒ අසල ඇත. මෙයින් පෙනි යන්නේ මේ ලෙණ අතීතයේදි පියස්සක් සහිතව සකස් කර තිබු බවයි. ලෙන් වහලේ චිත්‍ර ඇඳ තිබුණු බව කියතත් දැනට ඒවා දක්නට නොලැබේ.

0 comments:

Post a Comment